මාමාගේ ජනපති ධුරය ගැන ට්‍රම්ප් බෑණා පොතක් ලියයි

Foreign

හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණා සහ ඔහුගේ පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ජෙරාඩ් කුෂ්නර්, ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරය ගැන පොතක් ලිවීමට පොත් ප්‍රකාශකයෙකු සමග ගිවිසුමකට එලැඹ තිබේ.

බ්‍රෝඩ්සයිඩ් පොත් ප්‍රකාශකයන්ට එනුව මෙම පොත ලබන වසර මුලදී එළිදැක්වීමට නියමිත අතර, මධ්‍යස්ථ කතුවරයෙකුගේ පොතක් ලෙස එය හාපර් කොලින්ස් ප්‍රකාශන මුද්‍රාවද සමග නිකුත් වනු ඇති බව කියයි.

කෙසේ වෙතත් ජනාධිපති බෑනා වන ජෙරාඩ් සහ බ්‍රෝඩ්සයිඩ් ප්‍රකාශකයන් අතර ඇති කරගත් ගිවිසුමේ කොන්දේසි කිසිවක් ප්‍රසිද්ධ කර නැත.

ජනාධිපති ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරය පුරාවටම ඔහුට වඩාත් සමීපව සිටි උපදේශකයා වූයේ ජෙරාඩ් කුෂ්නර්ය. ජනාධිපතිවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවල සිට සෑම ආකාරයකම වැදගත් සාකච්ඡාවක ජෙරාඩ් දැකගත හැකි විය. ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියේ සිට ඔහු යටතේ සේවය කළ ජනාධිපතිවරයාට සෘජුව සම්බන්ධ බොහෝ පුද්ගලයන් හා ආයතන ප්‍රධානීන් වරින් වර සිය ධුරයන්ගෙන් ට්‍රම්ප් නෙරපා හැරියද, ජෙරාඩ් අවසානය දක්වාම ඔහු සමීපයේ සිය ධුරයේම රැඳී සිටියේය.

“ඔහුගේ පොත ට්‍රම්ප්ගේ පරිපාලනය පිළිබඳ නිශ්චිත, සවිස්තරාත්මකව විස්තර කිරීමක් වගේම, තිරය පිටුපස සිදු වූ දේ පිළිබඳ සත්‍යය ප්‍රකාශ කරන පොතක් වේවි” යනුවෙන් ප්‍රකාශකයා ජෙරාඩ්ගේ පොත ගැන පැවසීය.

40 හැවිරිදි කුෂ්නර් විවාහ වී සිටින්නේ හිටපු ජනාධිපති දියණිය වන ඉවාන්කා ට්‍රම්ප් සමගිනි. ඇයද එවකට ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු මෙන්ම, ආර්ථික මුල පිරීම් හා ව්‍යවසායකත්ව කාර්යාලයේ අධ්‍යක්ෂවරියක ලෙසද කටයුතු කළාය. ට්‍රම්ප්ගේ වැඩිමහලු පුතු ට්‍රම්ප් ජූනියර්, පියා ජනපති ධුරය දරන කාලයේදී ට්‍රම්ප් ව්‍යාපාරය වෙත විදෙස් රටවලින් ආයෝජන හා මුදල් රැස්කර ගැනීමට කටයුතු කළේ බාල සොහොයුරු එරික්ද සමග එක්වෙමින් නීතියට පිටින් යමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *