මේක ආණ්ඩුව පෙරලන වෙලාවක් නෙමෙයි, මගේ උත්සාහය විපක්ෂය ඒකාබද්ධ කිරීම – රනිල්

Political

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මෙවර සතිඅන්ත පුවත්පතක් සදහා සම්මූඛ සාකච්ඡාවක් ලබාදී තිබේ. එහිදී ඔහු තමන්ගේ පාර්ලිමේන්තු ආගමනය හා ඉදිරි දේශපාලනික සැලසුම් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. පහතින් පලවෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාදුන් සම්මූඛ සාකච්ඡාවයි

ප‍්‍රශ්නය – යහපාලන ආණ්ඩුව පරාජයට පත්වීමෙන් පස්සේ වසර කීපයක් නිහඬව හිටපු ඔබ ලබන බදාදා නැවතත් පාර්ලිමේන්තුවට යනවා. අපට ආරංචියි ඔබ ඊළඟ විපක්ෂ නායක වෙනවත් කියලා. ඉතිං ඔබට සතුටු නැද්ද?

රනිල් වික‍්‍රමසිංහ – විපක්ෂ නායක කතාව පැත්තකින් තියලා ඔබේ ප‍්‍රශ්නයට උත්තර දෙන්නම්. මම දශක ගණනාවක් ම එක දිගට පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක්. වැදගත් අමාත්‍යාංශ කිහිපයකම ඇමැතිවරයා හැටියට මම වැඩ කළා. මම පස් පාරක් අගමැති වුණා. ඉතිං පාර්ලිමේන්තු යනවයි කියලා ඇතිවෙන අලූත් සතුට මොකක්ද? අනෙක සතුට කියන්නේ මොකක්ද?

ප‍්‍රශ්නය – පිටස්තර ලෝකය රනිල් වික‍්‍රමසිංහව කවදත් දැක්කේ බටහිරකරණය වූ දේශපාලනඥයෙක් විදිහට…

රනිල් වික‍්‍රමසිංහ – මම මගේ මුළු පාසල් අධ්‍යාපනයම කළේ සිංහල භාෂාවෙන්. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනගෙන අ.පො.ස. සා. පෙළ විභාගය සමත් වුණාට පස්සේ මම කලා අංශය තෝරා ගත්තා. හැබැයි මගේ සහෝදරයා වන ශාන් වික‍්‍රමසිංහ විද්‍යා විෂය ධාරාව තෝරගෙන ඉංග‍්‍රීසියෙන් අධ්‍යාපනය ලැබීමට යොමු වුණා. මම නීතිය ඉගෙනගැනීමට විශ්වවිද්‍යාලයට යන තුරුම සිංහල භාෂාවෙන් තමයි අධ්‍යාපනය කළේ. රාජකීය විද්‍යාලයේ සංස්කෘතිය ඇතුලේ අධ්‍යාපන මාධ්‍ය සිංහල උනත් ශිෂ්‍යයන් අතර අදහස් හුවමාරු කරගැනීමේ භාෂා මාධ්‍ය වුණේ ඉංග‍්‍රීසි. ඒ නිසා සිංහල සහ ඉංග‍්‍රීසි භාෂා දෙකේම පරිණතභාවයක් අපට ලැබුණා. හැබැයි අපි දේශපාලනයට එන කාලේ ආණ්ඩුවේ වැඩකටයුතු හුඟක්ම වුණේ ඉංග‍්‍රීසියෙන්. මේ රටේ රාජ්‍ය භාෂාව සිංහල වුණාට අද උනත් සමාජයේ යම් යම් ස්ථරවලදී වැඩකටයුතු කෙරෙන්නේ ඉංග‍්‍රීසියෙන්. සමහරවිට අප එසේ ඉංග‍්‍රීසියෙන් වැඩකටයුතු කරන අවස්ථා විතරක් කෙනෙක් දකින්න ඇති. ඊළඟට ඔවුන් චෝදනා කරනවා මම බටහිරට ගැතියි කියලා. මේක දේශපාලන දෝෂාරෝපණයක් විතරයි. ඒකෙ ඇත්තක් නැහැ.

ප‍්‍රශ්නය – පසුගිය වකවානුවේදී ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමේ සිට මේ දක්වා ගත වූ කාලයේ සිදුවුණු දේවල් ගැන ඔබේ විග‍්‍රහය මොකද්ද?

රනිල් වික‍්‍රමසිංහ – යුද ජයග‍්‍රහණයෙන් පස්සේ මේ රට ඉදිරියට ගෙනයෑම සඳහා සමාජ ආර්ථික වැඩසටහනක් හඳුන්වා දුන්නේ යහපාලන ආණ්ඩුවයි. විශේෂයෙන්ම ශ‍්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කරන්නටත් සියලූ ජාතීන්ට අයත් ජන කොටස් එක් රැස් කරන්නටත් රටේ සංවර්ධනය වෙනුවෙන් ඔවුන් සියලූදෙනාගේ සහභාගීත්වය ලබාගන්නටත් අප වැඩපිළිවෙළක් සකස් කළා. මුල් අවුරුදු කිහිපයේදී ඒ වැඩපිළිවෙළ සාර්ථක වුණා. බුදු දහමට ප‍්‍රමුඛ ස්ථානය දෙන්නටත් සෙසු ආගම්වලට නිසි ගෞරවය සහ තැනක් දීමටත් අප කටයුතු කළා. ඒත් අයි.එස්.අයි.එස්. අන්තවාදී ධර්මයට අනුව යමින් කඩාකප්පල්කාරී ක‍්‍රියාවල නිරත වූ ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන්ගේ පාස්කු ප‍්‍රහාරය නිසා අපේ ප‍්‍රගතිශීලී වැඩසටහන්වලට සෑහෙන පහරක් එල්ල වුණා. මේ අවස්ථාවේදී මුස්ලිම් ජනයාට විරුද්ධව වෛරය වපුරන ප‍්‍රවණතාවක් ඇතිවුණා. අප ඒ තත්ත්වයත් පාලනය කළා. දේශපාලන වශයෙන් අපේ ගමන ඉදිරියට ගෙනයන්න දහනව වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්නටත් අපට පුළුවන් වුණා. ඒ වගේම නැවත වතාවක් රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කරන්නටත් රුපියල ලෝකය පිළිගන්නා මුදල් ඒකකයක් බවට පත් කරන්නටත් අපට හැකි වුණා.

ප‍්‍රශ්නය – ඔබේ පාලන සමයේදී ඩොලර් එකක මිල කීයද?

රනිල් වික‍්‍රමසිංහ – 2019 දී අප බලය අත්හරින විට ඩොලරය රුපියල් එකසිය අසූවයි. අද එහි මිල රුපියල් දෙසිය විස්සයි. වඩාත්ම වැදගත් දේ තමයි මුදල් විශුද්ධිකරණ ජාත්‍යන්තර ලැයිස්තුවේ සඳහන්ව තිබූ ශ‍්‍රී ලංකාවේ නම ඉන් ඉවත් කරගැනීමට අපට හැකිවීම. ජාත්‍යන්තර තලයේදී මුදල් විශුද්ධිකරණය සාපරාධී ක‍්‍රියාවක්. එය ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමේදී විශාල කැළලක්. අපේ දේශපාලනයේ තිබුණේ ප‍්‍රතිරූප හදන එක නෙමෙයි. ප‍්‍රතිරූප හැදීම බුදුදහමටත් විරුද්ධයි. ඒ අනුව පුද්ගලයන් උලූප්පන්නේ නැතුව වැඩකටයුතු විතරක් ඉදිරියට ගෙනයෑමේ කාර්යාවලියක අපි නිරත වුණා. දැන් තියෙන තත්ත්වය තමයි අපි ඉවර කරපු තැනින් එහාට යන්නට කාටවත් බැරිවීම. ඔවුන් තමන් කියපු පොරොන්දු ඉටු කළෙත් නෑ. අපි කරගෙන ආව ටික ඉවර කළෙත් නෑ. ආර්ථික සහ සමාජ පදනම ශක්තිමත් වන වැඩසටහන් කිසිවක් ක‍්‍රියාත්මක වෙලා නෑ.

ප‍්‍රශ්නය – ඔබ යහපාලන ඡන්ද ව්‍යාපාරයේදී ඔබේ දේශපාලන සගයා වුණේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ මෛත‍්‍රීපාල සිරිසේනයි. පසුකාලයේදී ඔබ දෙපල අතර විශාල විරසකයක් ඇතිවුණා. ඒ විරසකය තවමත් එහෙමම තිබෙනවාද?

රනිල් වික‍්‍රමසිංහ – කිසිසේත්ම නැහැ. ඒ හැම දෙයක්ම ප‍්‍රතිපත්තිමය ගැටුම් මිස පුද්ගලික ගැටුම් නොවෙයි. දේශපාලනයේදී හැම කෙනෙක් එක්කම වැඩ කරන්නට අපට සිද්ධ වෙනවා. ඒ අය අතර අපේ මතයට විරුද්ධ සහ අපේ මතයට පක්ෂ අය ඉන්නවා. මේ පක්ෂ විපක්ෂ දෙගොල්ලොම එක් අවස්ථාවේදී මතවාදී වශයෙන් මැද තැනකට එනවා. ඒ අවස්ථාව තමයි වැදගත් අවස්ථාව. ඒ අවස්ථාවේ සිට අප ඔවුන් සමග ඉදිරියට කටයුතු කරගෙන යනවා.

ප‍්‍රශ්නය – ඔබ ඊළඟ විපක්ෂ නායක වෙනවද?

රනිල් වික‍්‍රමසිංහ – දැනට විපක්ෂ නායකවරයෙක් ඉන්නවනේ. ඒ අයගේ ප‍්‍රශ්න ගැන කිසිවක් කියන්න මම දන්නේ නැහැ.

මම එන්නේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන්න.

ප‍්‍රශ්නය – ඔබ මෙවර පාර්ලිමේන්තුවට ගිහිං කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඔබ කිසියම් පෙරළියක් කරන්නට බලාපොරොත්තු වෙනවාද?

රනිල් වික‍්‍රමසිංහ – පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂය පරස්පර මතිමතාන්තරවලින් පිරුණු කට්ටියක්. ඔවුන් සියලූ දෙනාම පොදු රාමුවක් ඇතුළට අරගෙන වැඩ කළ හැකි නම් වඩා ප‍්‍රබල විපක්ෂයක් ගොඩනගන්නට පුළුවන්. විශේෂයෙන් කොවිඞ් වසංගතය නිසා රට මෙවැනි අර්බුදකාරී තත්ත්වයක පසුවන මොහොතක ආණ්ඩුව පෙරළීම විපක්ෂයේ අරමුණ නම් එය සුදුසු නැහැ. විපක්ෂයක් නිතරම කළ යුත්තේ සුදුසු ගමන් මගට ආණ්ඩුව යොමු කිරීමයි. කොයි ආණ්ඩුවකටවත් තමන් කරන වැරදි පේන්නේ නැහැ. එය ඉතාම ස්වභාවික තත්ත්වයක්. මොකද තමන් කරන වැරදි දිහා බල බලා ඉන්න වෙලාවක් ආණ්ඩුවට නැහැ. ඒ වැරදි හොඳටම පේන්නේ විපක්ෂයට. විපක්ෂයට පුළුවන් ප‍්‍රතිසංස්කරණවාදී ක‍්‍රමවේදයකට අනුව ආණ්ඩුවේ වැරදි පෙන්වලා දීලා උදව් කරන්න. මා හිතනවා මට තියෙන අත්දැකීම් නිසා විපක්ෂයේ සියලූ පක්ෂත් එක්ක මිත‍්‍රශීලී ලෙස කතා කරලා ඔවුන් එක තලයකට ගේන්න.

ප‍්‍රශ්නය – මේ රට ගොඩනැගීමට ඔබට වැඩපිළිවෙළක් තියෙනවාද?

රනිල් වික‍්‍රමසිංහ – අඩුම ගණනේ අවුරුදු පහළොවක්වත් සියලූ පක්ෂ එකතුවෙලා රට ඉදිරියට ගෙන යා යුතුයි. ආණ්ඩුව හොඳ වැඩක් කරනකොට ඒක කඩාකප්පල් කිරීම හෝ පදනම් විරහිත විවේචන කිරීම විපක්ෂය නොකළ යුතුයි. මොකද ඉස්සරට වඩා අද ඡුන්ද දායකයන් හුඟක් දියුණුයි. ඔවුන් ආණ්ඩුව දිහා වගේම විපක්ෂය දිහාත් බලාගෙන ඉන්නේ. ඊළඟ ඡුන්දයේ තීරකයෙක් ලෙස විපක්ෂයේ හැසිරීමත් බලපානවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *