චීනය අධ්‍යාපනය ජනසතු කිරීම වේගවත් කරයි !

Foreign

මේ වනවිට රටේ අධ්‍යාපනයෙන් අඩකට වඩා පුද්ගලික අංශයේ පාලනයට නතුව තිබෙන ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ජනසතු කිරීමට චීන රජය තීරණය කර ඇති බව වාර්තා වේ. චීනයේ ප්‍රාථමික ද්වීතිය අධ්‍යාපනය වසර 09කින් සමන්විත වන අතර එය සෑම පුරවැසියෙකුටම අනිවාර්ය වේ. කෙසේවුවත් පැවති වසර 20-30අතර කාලය තුළ චීන අධ්‍යාපනයේ ඉතා වේගයෙන් සිදුවූ පුද්ගලිකරණය හේතුවෙන් හා එහි ප්‍රථිපලයක් ලෙස ඇති වූ දැඩි තරඟකාරිත්වය හා අයකරනු ලබන අධික මිල ගණන් නිසා චීන සිසුන් හා දෙමව්පියන් එයින් මුදවා ගැනීමට පසුගිය අගෝස්තු මස සිට විශාල සංශෝධන රාශියක් සිදු කිරීමට චීන රජය තීරණය කර ඇත.

මෙම වසරේ ජුලි මස 24 දා පැනවූ නව නීතියක් මගින් සියළුම ආකාරයේ නව අධ්‍යාපන පුද්ගලික ආයතන ලියා පංදිචි කිරීම තහනම් කර තිබේ. දැනට ලියා පංදිචි වී ඇති 190,000ක් වන සියළුම අධ්‍යාපන ආයතන අධ්‍යාපනය “ලාභ ලබන ආයතන” ලෙස පවත්වාගෙන යාම අත්හිටුවා ඇත. එසේම පාසැල් නිවාඩු කාලයේදීත්, සති අන්තයේදීත්, රජයේ පාසැල් තුළ උගන්වනු ලබන විෂය ධාරාවන් ඉගැන්වීම සියළුම අධ්‍යාපන ආයතනවලට තහනම් කර තිබේ. රටේ අධ්‍යාපනය දැඩි ලෙස ආර්ථික ප්‍රග්ධනකරණය ලක්වීම මෙම තීරණ ගැනීමට ආසන්න හේතු ලෙස සලකයි.

චීන මධ්‍යම බැංකු වාර්තාවන්ට අනුව මෙම පුද්ගලික ආයතන මගින් චීන ආර්ථිකයට ලබාදෙන සම්පුර්ණ ලාභය ඩොලර් බිලියන 220ක් ලෙස ගණන් බලා තිබේ. මෙම රාජ්‍ය සංශෝධන හේතුවෙන් මෙම කේෂ්ත්‍රයේ කොටස් වෙළඳපල තුළ ආයෝජනය කරන සමාගම්හි මූල්‍ය කොටස්වල වටිනාකම් පහත බැස ඇති බව JP morgan ඇමරිකානු මුල්‍ය වෙළඳ සමාගම රොයිටර් පුවත් සේවයට පවසයි.

චීන ජනාධිපති ෂිං ජින්පින්ගේ නවතම සංකල්පයකට අනුව කොටස් හා මුල්‍ය වෙළඳපළ කළමනාකරණය හා එයින් චීන සමාගම් උපයන අධික ධනය ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපනය හා ජනතා සුබ සාධනය සඳහා යොදාගැනීම මෙහි අරමුණ වී ඇත. එසේම දෙමව්පියන් විසින් තම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා විශාල වියදමක් දැරීම, පාසැලෙන් දෙනු ලබන අධික වැඩ හේතුවෙන් දරුවන් කායික හා මානසික වශයෙන් පීඩා විඳීම වැනි කාරනා සැලකිල්ලට ගනිමින් පාසැල් දරුවන්ට වීඩියෝ ක්‍රීඩා නැරඹීමද සතියකට පැය 03ක් දක්වා සීමා කර ඇත. වයස 5-7 දරුවන්ට ලිවීමේ විභාගද ඉවත්කර ඇත. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සිදුකරන දෙමව්පියන්ගේ වියදම් අඩුකිරීමෙන් රටේ දරු උපත් ප්‍රමාණය ඉහළ දැමීමට චීන රජය එමගින් අපේක්ෂා කරනු ලබයි.

1960 යුගයේ සිදුවූ සංස්කෘතික විප්ලවයට අනුව යමින් ප්‍රසිද්ධ වූ මාවෝගේ රතු පොත මෙන් ෂිං ජින්පින්ගේ සිතුවිලි ලෙස සඳහන් මාක්ස් වාදී කරුණු ඇතුලත් නව අත්පොතක් චීන පාසැල් දරුවන්ට කියවීමට අනිවාර්‍ය කර ඇති බව එරට රජයට සම්බන්ධ global times සඟරාව වාර්තා කර සිටි. එසේම මෙම අත්පොත තුළ මාක්ස්වාදයට අමතරව දේශප්‍රේමය, කොමියුනිස්ට් පක්‍ෂයේ ඉතිහාසය හා රටේ ආරක්ෂාව යන කාරණාද අඩංගු කර තිබේ.

මෙම නව නීති සංශෝධන හේතුවෙන් අධ්‍යාපනයට ආයෝජනය කරනු ලබන චීන සමාගම් වන New Oriental Education හි කොටස්වල වටිනාකම 40%කින් පහත වැටී ඇත. Koolearn Technology ආයතනයට 35%ක් ලෙසත්, China Maple Leaf Educational ආයතනට 16%කින්ද හොංකොන් හා shangayi කොටස් වෙළඳ පල තුළ පාඩු සිදු වී තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් එරට මුල්‍ය ප්‍රාග්ධනය පාලනය කිරීමේ ක්‍රියාවලිය පසුගිය අප්‍රියෙල් මාසයේ ආරම්හ කරනුයේ සුප්‍රසිද්ධ අලිබබා ආයතනයේ අධිපති Jack Maට එරෙහිව බිලියන 2.3ක දඩයක් ගැසීමෙනි. එසේම පසුගිය සතියේ රටේ තවත් වැදගත් හා විශාල ලෙස ලාභ උපදවන ආහාර බෙදා හරින tech වෙළඳ සමාගමෙහි සේවය කරන කම්කරුවන්ට ස්ථිර වැටුපක් හා නිවාඩු සහතික කරන ලෙසද ඉල්ලා නව නීතියක් සම්මත කරන ලදී. පසුගිය දා ජාතිය අමතමින් ෂිං ජින්පින්ග් ප්‍රකාශ කළේ රටේ මුල්‍ය හා වෙළඳ සමාගම් උපයන ලාභය සියළුම ජනතාවගේ සුභසාධනය සඳහා යොදවන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *