ගොවිතැන කාබනික කරන්න ගිහින් ඉවරවුනේ අවුරුදු 32ක මගේ දේශපාලනයයි

Local

“මහ කන්නයේ කාබනික වගා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගොවීන් කරන චෝදනා අසාධාරණයි කියලා මම හිතන්නේ නෑ. මේ වැඩේ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා මගේ වසර තිස් දෙකක දේශපාලනය විනාශ වුණා. 

එහෙම වුණත් මෙය රටටත්, ජනතාවටත් ඉතා වැදගත් වූ වැඩපිළිවෙළක් නිසා මම ඉදිරියටත් මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න ජනාධිපතිවරයා හා රජය සමඟ කැප වෙනවා” යැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය. 

“මෙරටට සහල් ආනයනය කරනවාට මම පෞද්ගලිකව කැමැති නෑ. වෙළෙඳපොළේ හාල් මිල පාලනය කරන්න මෙවැනි පියවර ගැනීමෙන් ගොවියාට වීවලට ලැබෙන මිල අඩු වෙන්න පුළුවන්. ඒක වළක්වා ගන්න තමයි රජය මහ කන්නයේ වී කිලෝවකට රුපියල් හැත්තෑපහක් ගෙවන්න තීරණය කළේ” යනුවෙන්ද ඇමැතිවරයා ගොවි සංවිධාන ජාතික බලමණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවේදී ඉහත සඳහන කළේය.

“මහ කන්නයේ අපි දෙගොල්ලටම වැරදුණු තැන් තියෙනවා. ඒ වැරදුණු තැන් හදාගෙන යල කන්නයේදී කාබනික වගාව සාර්ථක කර ගන්න අපි සියලුම දෙනා කැපවීමෙන් කටයුතු  කරන්න ඕන” යැයිද ඇමැතිවරයා කීය.

රුපියල් පනහට තිබූ වී මිල රුපියල් හැත්තෑපහ දක්වා වැඩි කර ගොවියාට මහ කන්නයේ සිදුව ඇති අලාභයට වී කිලෝවකට රුපියල් විසි පහක් වැඩිපුර ගෙවීමට රජය පියවර ගෙන ඇතැයිද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

මහ කන්නයේ වී අස්වැන්න සමස්තයක් ලෙස සියයට හතළිහත් පනහත් අතර ප්‍රමාණයෙන් අඩුවිය හැකි බව එහිදී ගොවි සංවිධාන ජාතික බල මණ්ඩලයේ නියෝජිතයෝ පෙන්වා දී තිබේ.

නමුත් මාස හයකට ප්‍රමාණවත් සහල් මහ කන්නයේ වී අස්වැන්නෙන් ලබාගත හැකි බව ඇමැතිවරයා එහිදී අවධාරණය කර ඇත.

මහ කන්නයේ වගා හානි වෙනුවෙන් හානිය ඇස්තමේන්තු කර වන්දි ලබා දෙන ලෙස එහිදී ගොවි සංවිධාන නියෝජිතයෝ ඉල්ලීම් කර ඇත.

රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව කාබනික වී වගාව ක්‍රියාත්මක කිරීමේදී විවිධාකාරයේ බලපෑම් හා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූ බවද ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දී ඇත. 

කාබනික ගොවිතැන අසාර්ථක බව පෙන්වමින් මාධ්‍යයට අදහස් දැක්වීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා රුපියල් ලක්ෂ තුනක් ලබා දීමට ඇතැම් අය සූදානමින් සිටින බවද ගොවි සංවිධාන ජාතික බල මණ්ඩලයේ නියෝජිතයෝ පෙන්වා දී තිබේ.

යල කන්නයේ වී වගාව සාර්ථක කර ගැනීමට පොහොර හා පොහොර භාවිතය පිළිබඳ උපදෙස් වෙලාවට ලබා දෙන ලෙස ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ සභාපති ප්‍රේමරත්න එහිදී ඉල්ලීමක් කර ඇත.

මහ කන්නයේ වගා හානි සඳහා හානිය පිළිබඳ තක්සේරු වාර්තා කඩිනමින් ලබාගෙන වන්දි ගෙවීම කඩිනම් කරන ලෙස කෘෂිකර්ම ඇමැතිවරයා එහිදී කෘෂි රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් අබේරත්න ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *