ලිට්රෝ සභාපති ධුරයෙන් තෙශාර ඉවත් කිරීම ජනපති නියමයෙන් අත්හිටුවයි

Local

මුදල් අමාත්‍යාංශය මඟින් ලිට්රෝ ගෑස් සමාගමට නව සභාපතිවරයකු පත්කිරීම අවලංගු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහි හිටපු සභාපති තෙෂාර ජයසිංහ මහතාව නැවතත්  එම තනතුරෙහි තැබීමට ඊයේ (13දා) පියවර ගත්තේය.

ලිට්රෝ ගෑස් සමාගමට නව සභාපතිවරයකු පත්කර ඇති බවට එම සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක් අතරතුරේදී දැනගැනීමෙන් පසුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ. 

වාර්තා වන ආකාරයට මුදල් අමාත්‍යාංශයේ ලේකම්   එස්.ආර්. ආටිගල ශ්‍රී  ලංකා රක්ෂණ සංස්ථාවේ සමාගම් ලේකම් වෙත ඊයේ (13දා) ලිපියක් යොමු කරමින් ලිට්රෝ සමාගමේ නව සභාපතිවරයා හැටියට හිටපු පළාත් සභා මන්ත්‍රි රේණුක පෙරේරා පත් කළ බව දන්වා ඇති අතර ජනාධිපතිවරයා මෙම පුවත දැනගෙන ඇත්තේ ලිට්රෝ සමාගම් පරිශ්‍රයේ කළ හදිසි සංචාරයේදීය.

ජනාධිපතිවරයා  එම මොහොතේදීම අදාළ පත්වීම අවලංගු කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්   එස්.ආර්. ආටිගලට උපදෙස් දී ඇත.

ඒ අනුව ලිට්රෝ සමාගමේ සභාපති තනතුරේ තවදුරටත් තෙෂාර ජයසිංහ ක්‍රියා කරන්නේ යැයි එහි ප්‍රකාශකයෙක් කීය. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හිටපු පළාත් සභා මන්ත්‍රි රේණුක පෙරේරා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි තමා පත් කළ බවට මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කළ ලිපියක පිටපතක් ලැබුණු බව තහවුරු කළේය.

මේ අතර ලිට්රෝ සුරැකීමේ ජාතික  එකමුතුව කොළඹදී ඊයේ (13දා) මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර සමාගමේ ප්‍රචාරක කළමනාකරු පියල් කොළඹහෙට්ටිගේ මහතා පැවැසුවේ තෙෂාර ජයසිංහ මහතා සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය ජනාධිපතිවරයා විසින් අත්හිටුවනු ලැබූ බවයි.

සමාගමේ සේවකයන්ගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා මෙම තීන්දුව ගත් බවත් කොළඹහෙට්ටිගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *