තවත් පුළුවන් තරම් සහන දෙනවා

Political

මෙරට ජනතාවට මේ වන විට සහන ලබා දෙමින් සිටින අතර හැකි තරම් තවදුරටත් සහන ලබාදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාර්තු 11 වැනි දින ගම්පහදී මාධ්‍යවේදියකු කළ විමසීමකදීය.

ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු අමාත්‍යවරුන් උත්සාහ දරමින් සිටින්නේ ජනතාවට සහන ලබාදීමට වන බැවින් තමා පිළිබඳව ජනතාව තබාගෙන සිටින විශ්වාසය තවදුරටත් එලෙසම තබාගෙන සිටින ලෙස ඔහු සඳහන් කළේය.

ඩොලරයට ඉහළ අගයක් ලබාදෙමින් රුපියලේ අගය පාවීමට සැලැස්වූයේ ඩොලරයේ අගය කලක සිට සීමාවක රඳවාගෙන සිට එසේ සිටිය නොහැකි තරමට උග්‍ර වූ බැවින් යැයි අමාත්‍යවරයා පැවැසීය.

විපක්ෂයේ අදහස් මෙන්ම ආර්ථික විද්‍යාඥයන්ගේද අදහස්වලටද ඇහුම්කන් දී මෙම පියවර ගැනීමට තීරණය කළ බව කීය.

ගෝලීය වශයෙන් පවතින බාහිර හේතුවල බලපෑම් ඉවත් කිරීමේ බලය නොමැති වුවද පවතින අර්බුදයට මුහුණදීම සඳහා රට තුළ පවතින ගැටලු නිසැකවම විසඳන බවද ඔහු සඳහන් කළේය.

මාධ්‍යවේදියා සහ මුදල් අමාත්‍යවරයා අතර ඇති වූ සම්පූර්ණ සංවාදය –

ඇමැතිතුමා අපට කියන්නකෝ කවදාද අපට සහන ලබා දෙන්නේ?

“සහන දැනටමත් දෙනවානේ. රු. 5,000 දෙනවා. තවත් පුළුවන් තරම් දෙනවා.”

ජනතාව ඔබතුමා ගැන විශ්වාසෙන් ඉන්නේ. මේක ඉක්මනින් ලැබෙයි කියලා?

“විශ්වාසය එහෙමම තියාගන්න. අපි ඉක්මනින්ම අපේ ඇමැතිවරුයි, ජනාධිපතිතුමායි, අගමැතිතුමායි ඔක්කෝම උත්සාහ කරන්නේ ඒක තමයි ඒක කරන්න.”

ඩොලර් එක පාවීම ගැන ඔබතුමාගේ අදහස මොකක්ද?

“කොහොමත් ඒක අපි කරපු එකක් නොවේ. ඉස්සර කාලේ ඉඳන් කරපු එකක්. අපි තාවකාලිකව නතර කරගෙන හිටියා. නමුත් නතර කරගන්න බැරි තරමට උග්‍ර වුණා.” 

ඒකෙන් රටට ඩොලර් ඉක්මනට ලැබෙයිද? විශ්වාසයක් තියෙනවාද?

“ඔව් ඉක්මනට එන්න ඕනෑ නේ. එහෙම කියනවා නේ කට්ටියක්. විපක්ෂය එහෙම කිව්වා. අපි ඒකටත් ඇහුම්කන් දෙන්න එපැයි.”

ඔබතුමා විපක්ෂයටද ඇහුම්කන් දුන්නේ?

“ගොඩක් කට්ටිය, ආර්ථික විශේෂඥයෝත් ඒ අදහස පළ කළා.”

කොච්චර කාලෙකින් මේ අර්බුදය විස‍ෙ¾දයි කියලා ඔබතුමා හිතනවාද?

“ඒක තමයි ඉතින්, වසංගතය ආවානේ. ඊට පස්සේ තෙල් මිල වැඩි වුණා. ඊට පස්සේ යුක්රේන – රුසියා යුද්ධය ආවා. මේවා ඔක්කොම බාහිර කරුණු. අපේ රටේ සිද්ධවෙන ඒවා නොවෙයි. බාහිර කරුණුවලට ජාත්‍යන්තරව අපිට ඒ තරම් බලයක් නෑ. නමුත් දේශීය වශයෙන් තියෙන ඒවා අපි අනිවාර්යයෙන්ම විසඳනවා.‍”

ඩොලර් අර්බුදයට මොකද වෙන්නේ? ඉස්සරහට ණය ගෙවාගන්න මොකක් හරි තියෙනවාද වැඩපිළිවෙළක්?

“ඔව් ඔව්.”

ණය ගෙවන එක ප්‍රශ්නයක් නොවේද?

“නෑ. ඒක මේ… ප්‍රශ්නයක් තමයි. අමාරුයි. ඒ වුණාට අපි කරනවා කොහොම හරි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *