වේගය පිනවයි…

Uncategorized

සතියක පමණ සුව නින්දකට පසු පිබිදුනු ගන්ධබ්බයා වටපිට බැලුවේ දැඩි කම්මැලි ලීලාවකිනි.පරිසරය සතියක් තුළ මහත් වූ විපර්යාසයකට ලක්වූ හැඩකි.හරියට කල්පයකට පසු අවදි වූවාක් වැනිය.

ගන්ධබ්බයා තම වම් ඇසෙහි වියලී ගොස් තිබූ බ්ලොක් ගල් දෙකක පමණ විශාලත්වයෙන් යුත් කබ ගුලිය දකුණු අතේ දබර ඇගිල්ලෙන් කඩා දැමුවේ මහත් පරිශ්‍රමයක් දරමිනි.ඉන්පසු තමන් එල්ලීගෙන සිටි පැණි වරක ගහේ ඔබ මොබ නෙතු විහිදා බැලුවද වෙනදා මෙන් ඉදුනු පැණි වරකා ගෙඩි එහි දැකිය නොහැකි විය.පැණි වරක ගහටද හෙන වැදුනාක් මෙනි.
“ඕං රීං වාරේ වාරේ පුහ්” කියා පැණි වරකා ගෙඩියක සුවද ප්‍රාර්තනා කල ඔහුගේ හිස මතට එකවරම පැණි වරකා වෙනුවට කුණුවී ගිය වැලගෙඩි වරුෂාවක් පතබෑ විය.
” මේ මොන නව නිංගිරාවක්ද. කවුද ඩෝ පැණි වරක ගහේ පාස්වර්ඩ් එක වෙනස් කරපු අවලමා” යැයි කියමින් හෙතෙම වහ වහා එතැනින් ඉගිල ගියේ තම ගන්ධබ්බ වරිගයාටම සුද්ධ ගන්දබු වග්ගයෙන් සුභ පැතුම් එක්කරමිනි.

වහා ගුවන්ගතවූ ගන්ධබ්බයා වේගයෙන් ඈතට පාවී යන්නට විය.කදුවැටි,බඩවැටි,මිටියාවත්,ජල ගැලුම් නිම්න අතරින් පාවී ගිය ඔහු තරමක නුහුරු කලබලකාරී පෙදෙසක පිහිටි රබර් ගසක අත්තක නැංගුරම්ලා බලා සිටියේය.

නුහුරු නුපුරුදු සතෙක් දුටු කලෙක මෙන් තම ගන්ධබ්බ වර්ගයා කැළඹී ඇති සැටියකි.බොහෝ ගන්ධබ්බයින් නොසන්සුන් වී ඇත.සිදුවන්නේ කුමක්දැයි විපරම් කිරීමට ගන්ධබ්බයා රබර් යායේ ඉහල අහසට නැගුනි.

සියල්ලන් කතාවන්නේ අරුම පුදුම ආගන්තුකයෙකු ගැනයි.ගන්ධබ්බයන්ට වඩා අවුල් වී ඇත්තේ ගන්ධබ්බියන්ය.වැඩිහිටි ගන්ධබ්බියන් කම්මුලට අත තබාගෙන සිටින අතර නාබර ගන්ධබ්බියන්ගේ මුහුණු රතුවී ගොසිනි.එකියක් තනියම සිනාසෙයි.

හතර අතට ඇන්ටනාව කරකවමින් සිටියදී ගන්ධබ්බයාට එකවරම කරුණු අවබෝධ විය.ආගන්තුකයා ඔහුට දිස්විය.නමුත් පැහැදිලි මදි බැවින් තව තවත් ලංවී නිරීක්ෂණය කළ යුතුය.

ඔය අතරතුරේ සමහරක් ගන්ධබ්බියන්ගේ චර්යාවන්ද හොදහැටි පෙනේ.මගතොටදී ආගන්තුකයාව දකින ගන්ධබ්බියන් ගැන නොකියාම බැරිය.
සමහර ගන්ධබ්බියන් බිම බලාගෙන යන අතර ඔවුන්ගෙන් සමහර එකියක් හෝ දෙකියක් හොර රහසේ ආපසු හැරී බලති.

ඔය අතර එකියක් ආගන්තුකයා දුටු විගස දෝතින් දෑස වසා ගත්තාය.එහෙත් ඇය ඇගිලි අතරින් දැස් යොමා හොදහැටි ඔහු දෙස බැලුවාය. වරින් වර දුටු දසුන මෙනෙහි කරමින් ඇය තනියම සිනාසෙන්නීය.වැඩිහිටි ගන්ධබ්බියන් පවසන ආකාරයට ඇය තරමක විසේකාරියකි.

මෙවන් ආටක නාටක මැද කෙසේ හෝ ආගන්තුකයා ලුහුබැදීමේ කුහුල තවත් වැඩිවෙයි.එහෙත් ඔහුගේ අධික වේගය නිසා ගන්ධබ්බයාට ඔහු වෙතට ලංවීම අසීරුය.උත්සාහය අත් නොහැර ගන්ධබ්බයා ඔහුව ලුහුබදියි.

ආගන්තුකයා අහසේ බල්ටි ගසයි.විසිලක් දෙකක් ගැලරියෙන් එනතුරු බලාසිටි නමුදු විසිල් නැත.ඉන්පසු ඔහුම විසිලක් ගසා බල්ටි දෙකක් ගසා අහසට පැන්නේය.

“කොහෙන් ආපු බූරු ගන්ධබ්බයෙක්ද මූ” යැයි තමාටම කියාගත් ගන්ධබ්බයා තව තවත් වේගය වැඩිකර ගනිමින් හඹා යන්නට විය.

දැන් දැන් දුමක් නැගෙනු පෙනේ.ආගන්තුකයා දැන් ජෙට් යානයක් සේ දිස්වෙයි.ඒ අනුව තමා දැන් ආගන්තුකයාට තරමක් ලංවී සිටින බව ගන්ධබ්බයාට වැටහෙයි.

එකවරම බල්ටියක් ගසා ඉහලට පැන්න ආගන්තුකයාගේ නළල් තලය රූපවාහිනී සම්ප්‍රේෂණ කුලුනක ගැටී ඔහුව බිමට පතබෑවුනි. ඒ අවසරයෙන් වහා ආගන්තුකයා අසලට ලංවීමට ගන්ධබ්බයා වගබලා ගත්තේය.

වඩාත් ලංවී බැලූවිට ඔහුට ඇස අදහාගත නොහැකිවිය.ආගන්තුකයාගේ දුම් බටය දැන් පහැදිලිව පෙනේ.ගිනිගෙන දැවෙන සරමක් ඇද සිටින ඔහුගේ උඩුකය වසා සිටින පරණ මේස් බැනියමේ තැනින් තැන බදාම පැල්ලම් කිහිපයකි.

ගින්නෙන් විලාසිතා මවන දෙපරාන්තයේ සයිලන්සරයක් දරා සිටින මේ අත්භූත නවක ගන්ධබ්බයා මොන ලෝකෙකින් පාත් වුනත් අපූරු එකෙකු යැයි ගන්ධබ්බයාට සිතුනි.තරුණ ගන්ධබ්බියන් හොරෙන් බලන්නට ඇත්තේ ඒ අපූර්වත්වය නිසා විය යුතුය.

ආගන්තුකයා සමග දොඩමළු වීමේ අරමුණ පෙරදැරිව ගන්ධබ්බයා “හායි” කී නමුත් ඔහු “පැණි” කීවා පමණි.
“පැණි කිව්වෙ මී පැණිද” ගන්ධබ්බයා ඇසුවේය.
“නෑ ප්‍රතිශක්ති ජීව පැණිය”ආගන්තුකයා අමාරුවෙන් වචන ගැටගැසීය.
“ඒ මොන පැණියක්ද” ගන්ධබ්බයා යලිත් ඇසීය.
“මම දන්නෙත් නෑ ඕයි” ඔහු කෝපයෙන් සරමේ ඇවිලෙන ගින්නට පිඹිමින් පිළිතුරු දුන්නේය.
“ගිනි ඇවිලෙන ලස්සන සරමක්නෙ.තමුසෙ කොයින්ද ගත්තෙ ඕක” ගන්ධබ්බයා නැවත ප්‍රශ්න කළේය.
“තමුසෙ බම්බුවක් කියවනව. මගෙ සරම ගිනිගත්ත අයිසෙ” ආගන්තුකයා කෝපයෙන් මොර දුන්නේය.

“ඒ මොනව කරන්න ගිහින්ද සරම පුච්ච ගත්තෙ” ගන්ධබ්බයා පුදුමයෙන් ඇසීය.

“මම පුච්ච ගත්තෙ නෑ ඕයි.පැණිය රත් කරන්න ගිහින් යටින් පොඩ්ඩක් පත්තු වුනා” ඒ ආගන්තුකයාගේ පිළිතුරයි.

“ඉතින් තමුසෙට තිබුනනෙ පොඩ්ඩක් ඇවිලෙන කොට නිවා ගන්න” ගන්ධබ්බයා යලිත් පුදුමයෙන් ඇසීය.

” ඒ වගේද ඕයි පැණි පෝලිම. සෙනග පැණි ගන්න ආවෙ හරියට බඹරු වගේ. පෝලිමේ අන්තිම එකත් පැණි ගත්තට පස්සෙයි මට දැනුනෙ යටින් මොනවද වේගෙන වේගෙන එනව වගේ”
එවර ආගන්තුකයා දෙස තියුණු බැල්මක් හෙලූ ගන්ධබ්බයා නැවත හඩ අවදි කළේය.

“සරම පත්තුවෙනව මදිවටද තමුසෙ යටින් පතරංග සයිලන්සරයකුත් එල්ලගෙන නේද ඉන්නෙ.බලනව දුම දාන්නෙ හරියට ජෙට් එකක් වගේනෙ”

“මම එල්ලගත්තෙ නෑ ඕයි. මේක එල්ලි එල්ලි තියෙන්නෙ මම උපන්දා ඉදලමයි.තමුසෙත් හරියට සමනලයෙක් වගේනෙ.රෙද්ද” එවර ඔහුගේ හඩ තරමක් වේගවත් විය.

එවර නම් ගන්ධබ්බයාට දෙවියන් සිහිවිය.ආගන්තුකයාගේ සර්වාංගය දෙස නැවත වරක් ඕනෑකමින් බැලූ ඔහු සියලු අග පසග හොදින් නිරීක්ෂණය කළේය.කරුණු අවබෝධ කරගත් ගන්ධබ්බයා ලැජ්ජාවෙන් ඇඹරෙන්නට විය.

“මොකද තමුසෙ ඇඹරෙන්නෙ.ලැජ්ජ වෙන්න එපා. මම වාජීකරණ පැණිය ගැනත් දන්නව. මොකද කියන්නෙ” ආගන්තුකයා එසේ ඇසුවේ ඔලොක්කුවට මෙනි.

“මට ඔහේගෙ පැණි එපා. තමුසෙට බල්ටි ගහනව ඇරෙන්න වෙන මොකුත් බැරිද තව”ගන්ධබ්බයා කතාව වෙනතකට හැරවීමට උත්සාහ කළේය.

“මොකද බැරි.මම හරිම වේගවත්.මට පැයට ආලෝක වර්ෂ 100ක් විතර වේගෙන් යන්න පුලුවන්” ආගන්තුකයා පැවසුවේ මහත් වූ ආඩම්බරයකිනි.
” මරුනෙ.ආලෝක වර්ෂයක් කිව්වෙ මොකද්ද” ගන්ධබ්බයා නැවත ඇසීය.
“මම දන්නෙත් නැ ඕයි. කොම්බුවෙන් තමයි මටත් කිව්වෙ”
ආගන්තුකයා පැවසීය.
“කොම්බුව කොහොමද ඒක දන්නෙ” ගන්ධබ්බයා එසේ ඇසූ සැනින් ආගන්තුකයාගේ නළල් තලය නැවත වරක් රූපවාහිනී සම්ප්‍රේෂණ කුලුනක වැදුනි.

බුදු අම්මෝ…….

“වේගය පිනවයි,එහෙත් මරු කැදවයි” යන ගන්ධබ්බ කියමන මෙනෙහි කරගත් ගන්ධබ්බයා රබර් වතුයායට ඉහලින් ගුවන් ගතවීය.

@ගන්ධබ්බයා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *