මෙරට පක්ෂ මාරුකිරීමේ පිකාසෝ වරු හෙවත් රාජපක්ෂ පරපුර…

Political Uncategorized

පක්ෂ මාරුකිරීම් පිළිබදව නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ යම් කසුකුසුවක් ගොඩනැගෙන අයුරු නිරීක්ෂණය කළ හැකිය.විශේෂයෙන් රජයට හිතවත් වෙබ් අඩවි කිහිපයක් මේ දිනවල පුද්ගලයින් කිහිප දෙනෙකුගේ පක්ෂ මාරුකිරීම් උපහාසයට ලක් කරමින් විවිධ පුවත් සහ උපහාසාත්මක කාටුන් ප්‍රසිද්ධ කරමින් සිටියි.

එම සමාජ මාධ්‍ය මතධාරීන්ට අනුව පක්ෂ මාරුකිරීම යනු බරපතල අපරාධයකි.ඔවුනට අනුව පක්ෂ මාරුකිරීම දේශපාලනයට සුදුසු නැති බැවින් එවැන්නන් දේශපාලන ක්ෂේත්‍රයෙන් අතුගා දැමිය යුතුය.

මෙවැනි මතවාද පතුරවන පිරිසට අමතක වූ හෝ හිතාමතාම වසන් කරන ප්‍රධාන කරුණු දෙකකි.

1.”පක්ෂ මාරුකිරීම සහ පක්ෂ කිහිපයක් සමග එක්ව සන්ධානගතවීම යනු එකක් නොව දෙකක්” යන්න අමතක කිරීම.

යම් යම් අවස්තා වලදී කුඩා දේශපාලන පක්ෂ ප්‍රධාන දේශපාලන ධාරාවන් සමග ගිවිසුම්ගතව එකිනෙකට සමපාත වන මතවාදයන් වෙනුවෙන් එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම මේ තුළින් අපේක්ෂා කෙරේ.සියලු පක්ෂ තමන්ගේ අනන්‍යතාව රැකගනිමින් සන්ධානගතව පෙළගැසීමක් පක්ෂ මාරුකිරීමක් ලෙස නිර්වචනය කිරීම බරපතල වරදකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා පොදුජන එක්සත් පෙරමුණ ලෙස පක්ෂ විශාල සංඛ්‍යාවක් ඒකරාශී වීම, පසුව ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය වැනි පක්ෂ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහිවීම, එක්සත් ජාතික පක්ෂය වටා එක්ව එක්සත් ජාතික පෙරමුණ බිහිවීම මෙන්ම උතුරේ ද්‍රවිඩ පක්ෂ රැසක් දෙමළ සන්ධානය ලෙස පෙළගැසීම සහ සමගි ජන බලවේගය බිහිවීම යනු පසුගිය දශක දෙකකට වැඩි කාලයක් පුරා මෙරට වරින් වර බිහිවූ දේශපාලන පක්ෂ සන්ධාන වේ.මෙලෙස සන්ධානගතවීම් පක්ෂ මාරුකිරීම් ලෙස උලුප්වා පෙන්වමින් ආණ්ඩුවට ප්‍රබල අභියෝගයක් වියහකි චරිත වලට නින්දා අපහාස කිරීම යනු අසමත් ආණ්ඩුවේ තවත් අසමත් ව්‍යායාමයක් ලෙස දැක්විය හැකිය.

2 . පක්ෂ මාරුකිරීම යනු බරපතල වරදක් නම් එම වරදට මූලාරම්භය ලබාදුන් රාජපක්ෂ පරපුර මෙහි ප්‍රධානතම චූදිතයින් විය යුතුය.

බයි පරපුරට සහ වන්දිභට්ඨ මාධ්‍ය කරුවන් කිහිප දෙනෙකුට පමණක් පෙරාපු රත්තරන් සේ සුපිරිසිදු නිර්මල චරිතාපදානයන් වූ රාජපක්ෂ පරපුරේ අතීත විත්තීන් කිපයක් සැකෙවින් දැක්විය හැකිය.

1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට පැවැති මහ මැතිවරණයෙන් හම්බන්තොට ආසනය දිනුවේ ඩී.එම්. රාජපක්ෂය. ඔහු මහින්ද රාජපක්ෂගේ ලොකු තාත්තා හෙවත් නිරූපමා රාජපක්ෂගේ සීයා ය. අද රාජපක්ෂලා ඩී.එම් ගැන වචනයක් වත් කතා නොකරති.

ඩී.එම් ගේ හදිසි අභාවය හේතුවෙන් පිනා චාන්ස් එකක් වැදී 1947 පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ආසනය දිනා පාර්ලිමේන්තුවට එන්නේ මල්ලී ඩී.ඒ.රාජපක්ෂය. ඒ මහින්දලාගේ පියා ය. ඡන්දය ඉල්ලුවේ එජාපයෙනි.

1952 දී බණ්ඩාරනායක මහතා විපක්ෂයට යද්දී ඔහුගේ පස්සෙන් වැටී අන්දෝ සංසාරයක් නොදැන ඩී.ඒ. විපක්ෂයට ගියේ ය.

1952 මහ මැතිවරණයෙන් ඩී.ඒ. බෙලිඅත්ත ආසනය දිනා ගන්නේ ශ්‍රීලනිපයෙනි. 1956 දී ඔහු නැවත දිනන්නේ මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයෙක් ලෙසය. 56 ආණ්ඩුව හදන්න මුල් වූ අයගෙන් ඩී.ඒ නායකයෙක් ලෙස අද මහින්ද රාජපක්ෂලා පම්පෝරි ගැසුවද 56 බණ්ඩාරනායක ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිකමක් හෝ ඩී.ඒට ලැබුනේ නැත. එනම් ඔහු එවැනි නායකයෙක් නොවීය. ඒ ගැන ඉතා හොඳින් සඳහන් වන්නේ මහින්ද රාජපක්ෂ ඇමැති කෙනෙක් වෙනවා වත් නොදුටු ටී.බී.ඉලංගරත්න ලියන තම ජීවිත කතාවේ එදා ශ්‍රිලනිපය ගොඩ නැගීමට මුල් වූ අය ගැන දක්වන නාම ලැයිස්තුවෙනි. එහි ඩී.ඒ.රාජපක්ෂ සිටින්නේ 42 වෙනියා ට ය.

බණ්ඩාරනායක ඝාතනයෙන් පසු 1960 මාර්තු මැතිවරණයට ඩී.ඒ. ඉදිරිපත් වන්නේ ශ්‍රීලනිපය අතහැර පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයෙක් ලෙසය. එහිදී ඔහු එජාප අපේක්ෂකයාට පරාජය වෙයි.

නැවත 1960 ජුලි මැතිවරණයේදී ශ්‍රීලනිපයට රිංගා ගන්නා ඩී.ඒ. බෙලිඅත්ත දිනාගනී. අවසානයේ 1965 මැතිවරණයේදී පරාජය වී දේශපාලන බිමෙන් ඉවත් වේ.

එජාපයෙන් පැමිණ ශ්‍රීලනිපයට ගොස් එය අතහැර මහජන එක්සත් පෙරමුණට ගොස් මාස 2 ක් තුල යලිත් ශ්‍රීලනිපයට බල්ටි ගැසූ අප්පාගේ කෙරුවාව එසේ ය.

1977 මැතිවරණයට බැසිල් රාජපක්ෂ මුල්කිරි ගල ආසනයට ශ්‍රීලනිපයෙන් තරඟ කර පරාජය වෙයි. 1978 බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි වීමෙන් පසුව ඇය පක්ෂයෙන් පන්නා දමා පක්ෂයේ බලය අල්ලා ගැනීමට පොර බදන කුප්‍රකට 13 දෙනාගේ කල්ලියේ බැසිල් ප්‍රබල සාමාජිකයෙකි. බණ්ඩාරනායක මැතිනිය 13 දෙනාගේ කල්ලියේ බලය බිඳ දැමීමෙන් පසුව බැසිල් ගාමිණී දිසානායක හරහා එජාපයට යන අතර මහින්ද හෙමින් සීරුවේ නැවත ශ්‍රීලනිපයට රිංගා ගත්තේ ය.

1982 දී පැවැති අතුරු මැතිවරණයේදී මුල්කිරිගල ආසනයට තරඟ කිරීම සඳහා බණ්ඩාරනායක මැතිනිය තෝරාගන්නේ ඩී.එම්.රාජපක්ෂගේ මිනිපිරිය හා ජෝර්ජ් රාජපක්ෂගේ දියණිය වු නිරූපමා රාජපක්ෂ ය. එම මැතිවරණයේදී බැසිල් එජාප වේදිකාවේ සිටිමින් සහ මහින්ද ශ්‍රීලනිපය සමග සිටිමින් නිරූපමා පරාජය කිරීමට වැඩ කරති. එහිදී සිදුවූ මිනීමැරුමකට මහින්දට චෝදනා එල්ල වන අතර නිරූපමාට එරෙහි අපහාස ප්‍රකාශයක් කිරීම ගැන බැසිල්ට චෝදනා එල්ල වේ. මහින්ද මිනීමැරුම් චෝදනාවෙන් නිදහස් වන නමුත් චෝදනා ඔප්පු වීම නිසා බැසිල් වසර 5 කට ප්‍රජා අයිතිය අහෝසි වීමේ දඬුවමට යටත් වේ. මෙම නඩුවේදී බැසිල්ට එරෙහිව නිරූපමා වෙනුවෙන් නඩුවට පෙනී සිටින නීතිඥයා වන්නේ නිමල් සිරිපාල ද සිල්වා ය. බැසිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරවන්නේ නිමල් සිරිපාලය. මෙම සිදුවීම් මාලාවෙන් පසු ඇමරිකාවට පැන යන බැසිල් නැවත ලංකාවට එන්නේ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකයා වූවාටත් පසුව ය

තවද ආණ්ඩුවේ කුළී ලියන්නන් පවසන පරිදි එකම පක්ෂයක හිදිමින් වුවද විවිධ සන්ධාන ගොඩනැගීම හා ඒවා තුළ සංසරණය වීම අපහාස උපහාස විදීමට තරම් බරපතල කාරණා වේනම් මහින්ද රාජපක්ෂ ඊට වඩා සිය දහස් ගුණයකින් අපහාස විදිය යුතුය.

මහින්ද විටෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේය.තවත් විටෙක පොදුජන එක්සත් පෙරමුණේය. තවත් කලෙක එක්සත් ජනතා නිදහස් සන්ධානයේය.දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළය.

මේ සියල්ලෙන් පහැදිලි වන්නේ ආණ්ඩුව බොහෝ සේ තැතිගෙන ඇති බවකි. එනම් ආණ්ඩුවට මතවාදීව හෝ දේශපාලනිකව මුහුණ දීගත නොහැකි අභියෝගාත්මක චරිතයක් ක්‍රමයෙන් සන්නද්ධ වෙමින් පවතින සැටියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *