පැණියෙන් මත්වුනු ධම්මික බඹරාගේ විකෘති බෝධි වන්දනාව…

Local Uncategorized

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා ලෙස මාධ්‍යාශිර්වාද පූර්වකව අභිශේක ලද පුද්ගලයෙකු කොවිඩ් 19 වයිරසයට එරෙහි දේශීය ඖෂධයක් නිපදවූ බවට පලවුනු ප්‍රවෘත්තියත් සමග එම නාමය හෝරා කිහිපයක් අතුලත රටේ අස්සක් මුල්ලක් නෑර පැතිරෙන්නට විය. ඒ සමගම සුවහසක් ජනයා දල්වාගත් බලාපොරොත්තු සහිතව සත් සිතින් යුතුව ඔහුට තම ප්‍රණාමය මෙන්ම ආශිර්වාදය පුදකළේ තමන් ලද ජයග්‍රහණයක විලාසයෙනි.

කොවිඩ් 19 වසංගතය හමුවේ ලොව අති දියුණු සවර්ධිත රටවල් පවා විශාලා මහනුවර සිහි ගන්වමින් මිනී කදු ගොඩ ගසද්දී තම සනුහරයේ අයෙකු ඒ සදහා සාර්ථක ඔසුවක් සොයාගත්තේ යැයි අසන්නට ලැබීම කෙතරම් සතුටක් ගෙනදෙන පුවතක්දැයි අමුතුවෙන් විස්තර කළයුතු නැත.

නමුත් එම සතුට ලාංකීය ජන හදවත් තුළ ලැගුම් ගනු ලැබුවේ ඉතා කෙටි කලක් පමණි.ධම්මික පැණිය ලෙස කවුරුත් හැදින්වූ ඒ මාහැගි දිව ඔසුවද තවත් එක් මාධ්‍ය පෙණ පිඩක් පමණක් බවට වටහා ගන්නට වැඩි කලක් ගත නොවුණි.

අදාල වෙද මහතා පිළිබදවද ඔහුගේ ජීවිකාව පිළිබදවද සොයා බැලීමේදී ඔහු දේව වරමින් ශාස්තර කියූ පුද්ගලයෙකු බවට අසන්නට ලැබුණි. වෘත්තිය කුමක් වුවද එවන් ඖෂධයක් නිපදවූ පසු අනුගමනය කෙරෙන පිළිගත් නීති රීති සම්ප්‍රදායක් ඇති බැවින් ඒ පිළිබදව සොයා බලීමට රජයට මෙන්ම මහජනතාවටද වගකීමක් ඇත.

මෙය දේශීය ඖසධයක් ලෙස හදුන්වා දී ඇති බැවින් නිෂ්පාදකයා රජයේ ආයුර්වේද වෛද්‍ය වරයෙක් හෝ රජය පිළිගත් පාරම්පරික දේශීය වෛද්‍ය වරයෙක් විය යුතුය” යන අවම සුදුසුකමවත් අදාල නිෂ්පාදකයා විසින් සපුරාගෙන නොමැත.


ඊළග කරුණ ලෙස නිෂ්පාදනය සදහා යොදාගන්නා ඖෂධ වට්ටෝරුව ඉදිරිපත් වීමක්ද සිදුව නැත.

ඖෂධ වට්ටෝරුව ඉදිරිපත් කිරීම අනාගත අභියෝග වලට අත වැනීමක් බැවින් වට්ටෝරුව ඉදිරිපත් කළ නොහැකි නම් අවම වශයෙන් වට්ටෝරුව ලබාගත් මූලාශ්‍ර පිළිබදව හෝ අදාල ආයතන දැනුවත් කළ යුතුය.

ධම්මික පැණිය ලෙස ප්‍රසිද්ධියට පත් මෙම ඖෂධයේ මූලාශ්‍රය ලෙස දක්වා ඇත්තේ කාලි මැණියන් පමණි.කාලි මෑණියන් නැමැති මූලාශ්‍රය පරීක්ෂා කිරීම සිදුකළ නොහැකි කාර්යයක් බැවින් ඉන් ඔබ්බට මේ පිළිබදව සාකච්ඡා කිරීම නිස්ඵල ක්‍රියාවකි.

රටට මහා බලගතු හා සශ්‍රීක සමයක පෙරනිමිති මතු කරමින් කැළණි ගං තෙරෙන් මතුවූ නාගයාද කාලි වරමින් කෑගල්ලෙන් මතුවූ ධම්මික පැණියද 21 වන සියවසේ ජීවත් වන අන්ධ භක්තික බහුතර මිසදිටු ප්‍රජාව ඉලක්ක කරගත් ව්‍යාපාරික මාධ්‍ය මෙහෙයුමක් විනා අන් යමක් නොවේ.

බඩ පුම්බාගෙන සිය දිවි අහිමි කරගන්නා ගෙම්බන් කොතෙකුත් දැක ඇත.එපරිද්දෙන් පිම්බී විනාශ වීමට ආසන්න ධම්මික බණ්ඩාරයන් අද සිය පිම්බීමේ උච්ඡස්ථානයට ලංවූ බව ශ්‍රී මහ බෝදි මළුවේදී ලොවට පසක් කළේය.

ඒ තම ධම්මික පැණිය ශ්‍රීමහා බෝධියට පූජා කිරීමට අවසර නොදීම නිසා අටමස්ථානාධිපති හිමියන්ට කාලි පාට් දැමීම හේතුවෙනි. වසර 2500කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන අපගේ ගෞරවණීය ජය ශ්‍රීමා බෝ රදුන් ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇත්තේ අටමස්ථානාධිපති හිමියන්ටය. උන් වහන්සේ තම යුතුකම මැනවින් ඉටුකරන බව අද දිනයේ ජාතියට පසක් කළහ.

කොරෝනා පැණිය වැලදීමට ශ්‍රීමහා බොධිය කොරෝනා රෝගියෙකු නොවේ.ඒවග ධම්මික බණ්ඩාර මෙන්ම ඔහු පසු පස සිටින කොරෝනා ගරානා මාධ්‍ය නඩයද අවබෝධ කරගත යුතුය.කළ යුත්තේ බෝධියට පුදා ජනප්‍රිය කරවීම නොව හැකි නම් සායනික පරීක්ෂාවකින් ගුණාත්මක භාවය තහවුරු කිරීමය.

ධම්මික බණ්ඩාර කාලි වරමින් මාධ්‍ය ඉදිරියේ අටමස්ථානාධිපති හිමියන්ට තර්ජනය කිරීමට විරෝධය පා භික්ෂූන් ව්හන්සේලා පෙරටුව ජාතිමාමකයින් තොග පිටින් හෙට දිනය තුළ කෑගල්ල බලා පිටත් වේදැයි නෙතු අයා බලා සිටිමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *